නිරෝගී හිසකෙස් අපේක්ෂාවෙන් මොනතරම් ප්‍රතිකර්ම ලබාගත්තද සාර්ථක ප්‍රතිඵල ලැබුණේ නැද්ද? එසේ නම් මේ ලිපිය ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙනු නොඅනුමානයි. නිරෝගී, සවිමත්, දිගු කොණ්ඩයක් ලබා ගැනීම සහ පවත්වා ගැනීම කියන දෙකම ලෙහෙසි පහසු කටයුත්තක් නම් නෙවෙයි. එයට මනා පෝෂණයක් බාහිරව මෙන්ම අභ්‍යන්තරවත් ලබා ගන්න ඕනි.

බාහිර පෝෂණය පිළිබඳව සලකන විට එසෙන්ෂියල් ඔයිල් වර්ග මඟින් කෙස් කලඹට සපයන සත්කාරය කිසිසේත්ම සුලු කොට සලකන්න බැහැ. එහි අඩංගු ඖෂධීය ගුණාංග වලින් කෙස් කලඹ සවිමත් කිරීම, හානියට පත් වූ හිසකෙස් නැවත යථා තත්වයට පත්කිරීම, කෙස් ගැලවීයාම නැවත්වීම වගේම කෙස් කලඹට නිරෝගී බැබළෙන පෙනුමක් ලබා දීම වගේ ගොඩක් ප්‍රතිලාභ ලබා දෙනවා.

එසෙන්ෂියල් ඔයිල් කියන්නේ මීට අවුරුදු 100 කටත් වඩා පැරණි කාලයක ඉඳන් පාවිච්චි කළ ප්‍රසිද්ධ තෙල් විශේෂයක්. පර්යේෂකයින්ගේ අදහසට අනුව කෙස් කළඹේ නිසි පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය පෝෂණය හා සත්කාර සපයමින් කොණ්ඩයට  ගොඩක් හොඳ ආරක්ෂාවක් ලබාදීමට මෙම සත්කාරවලට පුළුවන්. මේවා පාවිච්චි කිරීමෙන් ඔයාගේ ඔලුව සහ කොණ්ඩය ආශ්‍රිතව උද්ගත වී ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලබාගත හැකි ආකාර කීපයක් පහත දැක්වෙනවා.

01. හිසකෙස් වල වියළි ස්වභාවය වලක්වා ගැනීම 

ඔයාගේ හිසකෙස් වියළි ස්වභාවයක් ගන්නවා නම්, රත් කරගත් ඔලිව් ඔයිල්/ පොල් තෙල්/ ඉරිඟු තෙල්/ අලිගැටපේර තෙල් මේස හැන්දකට එසෙන්ෂියල් ඔයිල් විශේෂයකින් බිංදු 5-7 ක් විතර එකතු කරගෙන ඇඟිලි තුඩු භාවිතා කර මෘදු ලෙස  හිස්කබලට හොඳින් කාවදින ආකාරයට ආලේප කරන්න. පැය කීපයක් මේ ආකාරයට තියාගෙන ඔලුව සෝදන්න.

හඳුන් තෙල්- වියළි හා හානි වී ඇති කෙස් වලට හොඳින් තෙතමනය ලබා දෙනවා.

ලැවෙන්ඩර් ඔයිල්- ඔලුවේ සම ආශ්‍රිත තෙල් ග්‍රන්ථි පාලනය කර ඔලුවේ තෙතමනය ක්‍රමවත් කරවනවා.

Ylang-ylang එසෙන්ෂියල් ඔයිල්- ඔලුවේ සම ඇතුලත තියෙන මේද කොටස් පාලනය කර කොණ්ඩයේ නම්‍යශීලි භාවය  ඉහල නංවනවා.

ජෙරේනියම් එසෙන්ෂියල් ඔයිල්- හිස් කබල මඟින් ශ්‍රාවය වන තෙල් සමබර කිරීම වගේම කෙස් කලඹට ස්වභාවික කන්ඩිෂනර් සත්කාරයක් සපයනවා.

සමන් පිච්ච තෙල්- කොණ්ඩයේ තෙතමනය ඇතිකර මෘදු සහ සිනිඳු කෙස් කළඹක් ලබා දෙනවා.

අවවාදයයි: මේ එසෙන්ෂියල් ඔයිල් විශේෂ ගැබිණි සමයේ හෝ මවුකිරි ලබාදෙන මව්වරුන් පාවිච්චි නොකල යුතුයි.

02. කොණ්ඩයේ පවතින අධික තෙල් ගතිය ඉවත් කරගැනීමට 

ඔයාගේ කොණ්ඩයේ තෙල් ගතිය වැඩියි නම්, ඔලුවේ තෙල් ග්‍රන්ථි වල ශ්‍රාවයන් පාලනය කිරීමට උදවු වන එසෙන්ෂියල් ඔයිල් විශේෂයක් පාවිච්චි කරන්න. එසෙන්ෂියල් ඔයිල් බිඳු 5-7ක්, වට්ටක්කා තෙල්/ ආමන්ඩ් ඔයිල් වගේ තෙල් වර්ගයකින් මේස හැන්දක් සමඟ මිශ්‍ර කර හිසකබලට කාවදින පරිදි මෘදු ලෙස විනාඩි 2-3ක් විතර අතුල්ලමින් සම්බාහනය කරන්න. හිස්කබලේ විනාඩි 60-90ක් විතර තියන්න. ඊටපසු, හිසකෙස් සෝදා පිරිසිදු කරගන්න. ග්‍රේප්ෆෘට් ඔයිල්, ලෙමන් ඔයිල් හා ජෙරේනියම් ඔයිල් කියන ඔලුවේ තෙල් ග්‍රන්ථි පාලනය කරමින් කොණ්ඩයේ අධික තෙල් ස්වභාවය වලක්වන එසෙන්ෂියල් ඔයිල් විශේෂ මේ සඳහා වඩා උචිතයි.

03. හිසකෙස් ගැලවී යාම නවත්වා කෙස් කළඹ සවිමත් කිරීම 

කෙස් කළඹේ සවිමත් භාවය ඉහල නංවාගැනීමට අවශ්‍ය නම් කේශ මූලවලට සත්කාර කල යුතුයි. ඔලිව් ඔයිල්/ එඬරු තෙල් මේස හැන්දක් සහ පහත දක්වා ඇති එසෙන්ෂියල් ඔයිල් බිඳු 5-7 ක් විතර කලවම් කර හිස් කබලේ මෘදු ලෙස ගල්වා පැය කීපයක් නැත්නම් රැයක් පුරාවට තියෙන්න හරින්න. ඉන්පසු සාමාන්‍ය විදියට හිස සෝදන්න.

ලැවෙන්ඩර් ඔයිල්- හිසකෙස් ගැලවී යාම නවත්වා කේශ බිම්බ (follicles) ප්‍රතිස්ථාපනය කරනවා.

රෝස්මරි ඔයිල්- කේශ මූල සවිමත් කරනවා. කෙස්ගස්වල නම්‍යශීලී භාවය ආයෙමත් ඇතිකරනවා.

කැමොමයිල් ඔයිල්- කෙස් කළඹේ වර්ධනය උත්තේජනය කර පෝෂණය කරනවා. කොණ්ඩයේ සවිමත් භාවය නැවත  වර්ධනය කරනවා.

ක්ලැරි සේජ් ඔයිල් (clary sage oil)- කොණ්ඩයේ නැවත වර්ධනය ඉක්මන් කරවනවා.

තයිම් ඔයිල්- හිසකෙස් ගැලවී යාම නවත්වනවා. හානි වූ, දුර්වල කෙස් යලි යථා තත්වයට පත්කරනවා.

04. කොණ්ඩය වර්ධනය උත්තේජනය කිරීම 

කෙස් කළඹ හොඳට වර්ධනය කරගැනීමට, එඬරු තෙල්/ ඔලිව් ඔයිල්/ ආමන්ඩ් ඔයිල් මේස හැන්දක් පහත දක්වා ඇති  එසෙන්ෂියල් ඔයිල් බිඳු 5-7ක් විතර කලවම් කර හිස්කබලට මනාව කාවදින ආකාරයට අතුල්ලමින් සම්බාහනය කරන්න. පැය කීපයක් හෝ රැය පුරාවට තියාගෙන පසුදින ඔලුව සෝදන්න.

පැචෝලි ඔයිල් (patchouli)- කොණ්ඩයේ වර්ධනය නිසි පරිදි ඉක්මන් කරවනවා.

දොඩම්, ලෙමන් හා මැන්ඩරින් ඔයිල්- කෙස් කළඹ ශක්තිමත් කරවනවා.

සීඩර් ඔයිල් (දේවදාර)- හිස්කබල සමනය කරන අතරම කෙස් කළඹ පෝෂණය කරවනවා.

කැරට් සීඩ් ඔයිල්- කෙස් කළඹ සවිමත් කර, හිස්කබල තුල ලේ සංසරණය වීම වැඩි කරවනවා. කෙස් නැවත යථා තත්වයට පත්වීම මෙන්ම කොණ්ඩය යලි වර්ධනය ඉක්මන් කරවනවා.

05. ඉස්සොරි වලට ප්‍රතිකර්මයක් ලෙස

ඉස්සොරි කියන්නේ ගොඩක් දෙනෙක් මුහුණ දෙන සමේ ඇතිවන ආසාදනයක්. මෙම තත්ත්වයට එසෙන්ෂියල් ඔයිල් වලින්   ප්‍රතිකාර කරන්න පුළුවන්.

එඬරු තෙල්/ සීඩර් ඔයිල්/ බර්ඩොක් ඔයිල් තේ හැන්දක් සමඟ එසෙන්ෂියල් ඔයිල් බිඳු 10ක් විතර මිශ්‍ර කර හිස්කබලට හොඳින් කාවදින පරිදි සම්බාහනය කරන්න. රැය පුරාවට තියාගෙන පසුදින ඔලුව හොඳට සෝදන්න.

ටී ට්‍රී, ලෙමන් ග්‍රාස්, කපුරු හා පෙපර්මින්ට් කියන තෙල් වර්ග පාවිච්චි කර දිලීර ආසාදනයක් හේතුවෙන් හටගන්නා ඉස්සොරිවලට ප්‍රතිකාර කරන්න පුළුවන්. අධිකව වියලුනු හිස්කබලකට ප්‍රතිකාර කිරීමට ලැවෙන්ඩර් නැත්නම් පැචෝලි ඔයිල්  පාවිච්චි කරන්න.

06. හානි වූ හිසකෙස් නිරෝගී කිරීම සහ හිසකෙස් අග පැළීම් නැති කරගැනීම 

මෙම තත්වයට ක්‍රම දෙකකට ප්‍රතිකාර කරන්න පුළුවන්.

නෑමට කලින් පාවිච්චි කිරීමට 

ජොජෝබා ඔයිල්/ ඔලිව් ඔයිල්/ ආමන්ඩ් ඔයිල්/ අලිගැටපේර තෙල් මේස හැන්දකට එසෙන්ෂියල් ඔයිල් බිඳු 5-7ක් විතර කලවම්  කර හිසකෙස් මූලයේ සිට විශේෂයෙන්ම කෙස්ගස්වල අග හොඳට ආලේප කරන්න. විනාඩි 20ක් විතර තබා සාමාන්‍ය විදියට  ඔලුව සෝදන්න.

කොණ්ඩයට ලබාදෙන තෙල් සත්කාරයක් විදියට 

ස්ප්‍රේ බෝතලයක් ගෙන හැම වර්ගයකම එසෙන්ෂියල් ඔයිල් බිංදු 5-10ක් විතර යොදා පාවිච්චි කිරීමට කලින් හොඳට සොලවා කලවම් කරගන්න. මුලින්ම ෂැම්පු යොදා හිසකෙස් සෝදා පිරිසිදු කරගන්න. තෙත හිසකෙස්වල අග කොටස් වලට මෙයින්  ස්වල්පයක් ස්ප්‍රේ කරන්න. 

තයිම් ඔයිල්- කොණ්ඩය නැවත යථා තත්වයට පත්කර නීරෝගි කරවනවා. විශේෂයෙන්ම විවිධ වර්ණවලින් ඩයි කිරීම නිසා හෝ අයන් කිරීම වගේ styling උපකරණ පාවිච්චි කිරීමෙන් හානි සිදු වූ කෙස්ගස් යථා තත්වයට පත්කරනවා.

කොණ්ඩයේ අග පැලීම් ඇතිවීම වළක්වා ගැනීමට ලැවෙන්ඩර්, කැමොමයිල්, ජෙරේනියම්, රෝස් වුඩ්, සීඩර් වගේම සඳුන් තෙල් ගොඩක් ගුණදායකයි.

07. කොණ්ඩයේ එසෙන්ෂියල් ඔයිල් ගැල්වීම හා සෝදා පිරිසිදු කරගැනීම 

සාමාන්‍ය දිගක් සහිත කොණ්ඩයකට ආධාරක තෙල් වර්ගයකින් මේස හැඳි එක්ක සඳහා එසෙන්ෂියල් ඔයිල් බිංදු 5-7 ක් විතර  කලවම් කර පාවිච්චි කිරීම ප්‍රමාණවත්.

කෙටි කොණ්ඩයකට මෙම ප්‍රමාණය අවම කල යුතුයි වගේම ගොඩක් දිග කොණ්ඩයකට මේ ප්‍රමාණය දෙගුණයක් කල යුතුයි.

එසෙන්ෂියල් ඔයිල් ආලේප කල හිසකෙස් සෝදන විට, ඔලුව තෙමා ගන්නේ නැතුව මුලින්ම තෙල් තියෙන කේශ මූලයේ ඉඳන් අග වනතෙක් ෂැම්පු යොදා පිරිසිදු කරගන්න. ඊටපසු, ආයෙත් වතාවක් ෂැම්පු යොදා සාමාන්‍ය පරිදි ඔලුව සෝදන්න.

08.එසෙන්ෂියල් ඔයිල් පාවිච්චි කරන විට මෙම කරුණු පිළිබඳව අවධානය යොමු කරන්න 

එසෙන්ෂියල් ඔයිල් වල සාන්ද්‍රණය ගොඩක් ඉහල නිසා ඒවා පවතින ආකාරයටම සත්කාරවලට පාවිච්චි කරන්න එපා.

මේවා භාවිතා කරන විට සුදුසු මාත්‍රාව ලෙස සලකන්නේ ආධාරක තෙල් වර්ගයකින් මේස හැන්දකට එසෙන්ෂියල් ඔයිල් බිංදු 5-7ක් විතර එකතු කල පසුවයි.

ඉහත සඳහන් සත්කාර කොණ්ඩය සඳහා ප්‍රතිකාරයක් විදියට පාවිච්චි කරනවා නම් සතියකට 2-3 වතාවක් විතර කරන්න. සාමාන්‍ය සත්කරයක් විදියටම සතියකට වතාවක් පාවිච්චි කිරීම ප්‍රමාණවත්.

සිට්‍රස් හෝ පයින් ඔයිල් වගේ එසෙන්ෂියල් ඔයිල් පාවිච්චි කරන විට දැවිල්ල ගතියක් දැනෙනවා නම් එය සාමාන්‍යයයි. (හිස්කබලට ලේ අන්තර්වහනය වන විට මෙම දැවිල්ල ඇති වෙනවා)සමහර එසෙන්ෂියල් ඔයිල් වර්ග ගැබිණි මව්වරු කිසිවිටෙක පාවිච්චි නොකළ යුතුයි.(ආර්ටිමීෂියා,ලෙමන් බැසිල්,බ්ලැක් සීඩ්, කැම්ෆර්,සිනමන් බාර්ක්,සයිප්‍රස් වගේ එසෙන්ෂියල් ඔයිල්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here