2020 වසරේ ලෝක විවාහක රූ රැජින තරඟය පැවැත් වුණේ ඇමරිකාවේ ලාස්වේගාස් නුවරදී. ඒ සදහා රටවල් 51 ක් නියෝජනය කරමින් විවාහක රූමතියන් එක්ව සිටියා. එහි අවසන් මහා තරගයේ දී ලෝක රූ රැජින කිරුළ හිමිකර ගත්තේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම තරඟයට සහභාගී වූ කැරොලින් ජූරි මහත්මියයි. එම තරඟයේ දෙවන හා තෙවන ස්ථාන හිමි වුයේ අයර්ලන්තයට හා වර්ජින් දූපත් රාජ්‍යයටයි. කැරොලින් ජූරි මහත්මිය ලෝක විවාහක රූ රැජින තරගයට සුදුසුකම් ලැබුවේ පසුගිය අවුරුද්දේ ඔක්තෝබර් මස ශ්‍රී ලංකාවේ පැවැති විවාහක රූ රැජින තරගයෙන් පළමු ස්ථානය දිනා ගනිමින්. විවාහක ලෝක රූ රැජින කිරුළ දිනාගැනීමෙන් පසු සුරූපී කැරොලින් ජුරි බොහෝ දෙනා හඳුනා ගත්තා.1984 වර්ෂයේදී ලංකාව නියෝජනය කරමින් රෝසි සේනානායක මහත්මිය එම කිරුළ හිමිකරගත්තා. ඉන් වසර 35 කට පසුව මෙම කිරුළ දෙවන වරටත් ලංකාව ගෙන ආවේ කැරොලින් ජුරි.

කැරොලින් ජූරි උපතින්ම සුන්දරත්වය උරුම කරගත් යුවතියක්. ඇය ඉදහිට නිරූපණ ශිල්පිණියක් ලෙස කටයුතු කළත් ඒතරම් ඇය කා අතරත් ජනප‍්‍රිය කෙනෙක් වෙලා හිටියේ නෑ. ලෝක රූ රැජින තරඟයට යන්නට ප්‍රථම ඇයට තිබුණු ලොකුම අභියෝගය තමයි ලංකාවේ විවාහක රූ රැජින තරඟය ජයගන්නා එක. ඉතින් පැහැදිලි සහ නිවැරදි විනිෂ්චය හමුවේ ඇය ඒ අවස්ථාව උදාකරගන්නවා. පසුව ඇය අපේ රටේ නම බබළවමින් ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනාගන්නවා. වයස අවුරුදු 4ක දියණියකගේ ආදරණීය මවක් වූ 27 හැවිරිදි කැරොලින් ජූරි ඉපදුණේ 1992 ඔක්තොම්බර් 08 වැනිදා. කෙතරම් කාර්යබහුල වුණත් කැරොලින් අම්මා කෙනෙක් විදිහට හා බිරිඳක් විදිහට තමන්ගේ වගකීම් නම් අමතක කරලා නැහැ.

කැරොලින් ජීවත් වෙන්නේ වත්තල මහබාගේ. ඇය විවාහ වෙලා ඉන්නේ ඩුබායිවල රැකියාව කරන නිශාන්ත දීපාල් එක්ක. ඒ වගේම ඇයත් ඩුබායිවල පෞද්ගලික ආයතනයක සේවය කරනවා. ඉතින් ඇය බොහෝ කාලයක පටන් ජීවත් වුණේ සැමියත් එක්ක ඩුබායිවල. ඇයට රූ රැජින තරඟාවලියට සහභාගී වෙන්න පූර්ණ සහයෝගය ලබා දුන්නේ ඇගේ ආදරණීය සැමියා. ඇය රූ රැජිණ තරඟ ජයග‍්‍රහණය කිරීමෙන් පසු සමාජ මාධ්‍ය පුරා දීපාල් ගැනත් බොහෝ දෙනා ප‍්‍රශංසාත්මකව කතා කරලා විවිධ පෝස්ට් නිර්මාණය කරලා තිබුණා. තමන්ගේ බිරිඳව ගෙදරට කොටු නොකර ඇගේ දක්‍ෂතාවලින් ඉදිරියට යන්න ඇයට අවස්ථාවක් ලබාදීම ගැන හැමෝම ඔහුට ස්තුති කරල තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here