මිනිසා යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීම හේතුවෙන් විවිධ රෝගවලට ගොදුරු වනවා. මිනිසාගේ නොසැලකිලිමත්කම නිසා ඇති වන රෝගයන් අතරට මුත්‍රා ගල් ඇතිවීම ද අයත්. සාමාන්‍යයෙන් කාන්තාවන්ට වඩා පිරිමින්ට බහුලවම වැළඳෙන මෙම රෝගී තත්ත්වය අද වන විට සුලභවම දක්නට ලැබෙනවා. බොහෝ දෙනෙකුට මුත්‍රා ගල් ඇතිවීම පිළිබඳව අවබෝධයක් නොමැති නිසා ඉන් විශාල ලෙස පීඩා විඳිනවා. එම නිසා මෙම රෝගී තත්ත්වයෙන් මිදීම සඳහා මුත්‍රා ගල් ඇතිවන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබාගත යුතු යි.

මුත්‍රා ගල් ඇතිවන ආකාරය

වකුගඩු, මුත්‍ර වාහිනී, මුත්‍රාශය, සහ මුත්‍රා මාර්ගය යන ප්‍රධාන කොටස්වලින් මුත්‍ර වාහිනී පද්ධතිය සෑදී තිබෙනවා. යම් පුද්ගලයෙකු දිනකට පානය කරන ජල ප්‍රමාණය අඩු වන විට මුත්‍රාවල සාන්ද්‍ර ගතිය වැඩිවනවා. එවිට වකුගඩුවල සිට මුත්‍රාශය දක්වා මුත්‍රා ගමන් ගන්නා මාර්ගය තුළ කැටති ඇතිවනවා. එම කැටති සාමාන්‍යයෙන් මුත්‍රා සමග ගසාගෙන ගියත් තරමක් විශාල කැටති එහි ඉතිරි වනවා. එවැනි කැටිති යම් ප්‍රමාණයක් එකතු වීමෙන් මුත්‍රා ගල් සෑදෙනවා. සාමාන්‍යයෙන් මුත්‍රා ගල් වකුගඩු, මුත්‍රා වාහිනී සහ මුත්‍රාශය යන ස්ථානයන් තුනෙහිම ඇතිවන ආකාරය නිරීක්ෂණය කළ හැකියි.

මුත්‍රා ගල් වර්ග

මුත්‍ර වාහිනී පද්ධතිය තුළ දක්නට ලැබෙන මුත්‍රා ගල්වල ස්වභාවය අනුව ඒවා වර්ග කිහිපයකට බෙදා වෙන් කළ හැකියි. පහත දක්වා තිබෙන්නේ මුත්‍ර වාහිනී පද්ධතිය තුළ දක්නට ලැබෙන විවිධ ආකාරයේ ගල් වර්ග පිළිබඳව යි.

කැල්සියම් සහිත ගල්

මුත්‍ර වාහිනී පද්ධතිය තුළ බහුලවම දක්නට ලැබ්නෙනේ මෙම ගල් වර්ගය යි. කැල්සියම් ඔක්සලේට් ලෙස හටගන්නා මෙම ගල් වර්ගය ඇතිවන්නේ ආහාරවලින් ලැබෙන ඔක්සලේට්, මුත්‍ර පෙරෙන විට එහි ඇති කැල්සියම් සමග එකට බැඳෙන නිසා යි. සාමාන්‍යයෙන් මෙම මුත්‍රා ගල් වර්ගය X-Ray පරීක්ෂණයක් මඟින් පහසුවෙන් හඳුනාගත හැකියි.

යූරික් අම්ල ගල්

අධික ලෙස ප්‍රෝටීන් ආහාරයට ගන්නා විට සහ තරබාරුකම වැඩිවන විට මෙම මුත්‍රා ගල් වර්ගය සෑදීමේ ප්‍රවණතාවය වැඩි වනවා. එසේම අධික ආම්ලික මුත්‍රා ඇති විට මෙම ගල් වර්ගය සෑදෙනවා. මෙම මුත්‍රා ගල් වර්ගය සාමාන්‍ය X-Ray පරීක්ෂණයක් මඟින් හඳුනාගැනීමට අපහසු යි.

සිස්ටීන් ගල්

මෙම මුත්‍රා ගල් වර්ගය සුලභවම දක්නට ලැබෙන්නේ නැහැ. සිස්ටීන් නම් මුත්‍රා ගල් වර්ගය ඇතිවන්නේ පරම්පරාගත රෝගී තත්ත්වයක් නිසා යි. තරුණ අවධියේ දී ඇතිවන මෙම මුත්‍රා ගල් වර්ගය නිසා ජීවිත කාලය පුරාම විටින් විට පීඩා විඳීමට සිදුවෙයි.

ආසාදන ගල්

නිතර සෑදෙන මුත්‍රා ආසාදනවලට නිසි පරිදි ප්‍රතිකාර නොකිරීම හේතුවෙන් මෙම ගල් වර්ගය සෑදෙයි. එලෙස මුත්‍රා ආසාදනවලට ප්‍රතිකාර නොකිරීම හේතුවෙන් මුත්‍රා වාහිනී පද්ධතිය තුළ නිර්මාණය වන අහිතකර බැක්ටීරියා නිසා මුත්‍රා ගල් ඇති වී ඒවා ඉක්මනින්ම වර්ධනය වෙයි. මෙවැනි ගල් ප්‍රමාණයෙන් තරමක් විශාල නිසා වකුගඩුවලට පවා හානි සිදුවිය හැකියි.

මුත්‍රා ගල් ඇති වුණු විට දක්නට ලැබෙන රෝග ලක්ෂණ

මුත්‍රා වාහිනී පද්ධතිය තුළ මුත්‍රා ගල් ඇතිවුණු විට ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන ලක්ෂණය වන්නේ අධික වේදනාව යි. එහිදී වකුගඩු ආශ්‍රිතව මුත්‍රා ගල් ඇති වුණු විට තද බල පිට කොන්දේ වේදනාවක් ඇති වනවා. එවැනි අවස්ථාවක පිට අතින් තද කළ විට වේදනාව තවත් වැඩි වනවා. සාමාන්‍යයෙන් මෙම වේදනාව දිගින් දිගටම පවතින නිසා රෝගීයා දැඩි ලෙස පීඩාවට පත්වනවා. මුත්‍ර වාහිනී තුළ ගල් හටගත් විට වම් හෝ දකුණු ඇලයේ සිට හටගන්නා වේදනාව ක්‍රමයෙන් පහළට ගමන් කර රහස් ප්‍රදේශය දක්වාම පැතිර යනවා. වකුගඩු ගල්වලින් ඇතිවන වේදනාව අඛණ්ඩව පැවතුණත් මෙමඟින් ඇතිවන වේදනාව එක දිගට පවතින්නේ නැහැ. නමුත් රෝගී පුද්ගලයා සිදු කරන ඇතැම් චලන නිසා දැඩි වේදනාවක් දැනෙනවා. එසේම මුත්‍රා ගල් මුත්‍ර වාහිනී තුළින් පහළට ගමන් කරන විට ද දරුණු වේදනාවක් දැනෙනවා. මුත්‍රාශය තුළ ගල් ඇති වුණු දිගින් දිටම පවතින යටි බඩ වේදනාවක් පවතිනවා. එසේම මුත්‍රා ගල් ඇති වුණු අවස්ථාවන්වල පහත දැක්වෙන රෝගී ලක්ෂණ ද පෙන්නුම් කරනවා.

1) මුත්‍රා සමග රුධිරය පිට වීම

2) වමනය

3) මුත්‍රා පිටකිරීමේ දී වේදනාවක් දැනීම

4) දුගන්ධයක් සහිතව මුත්‍රා පිට වීම

5) නිතර මුත්‍රා කිරීමේ උවමනාව ඇති වීම

මුත්‍රා ගල් ඇතිවීමට හේතු

මූත්‍රා ගල් ඇති වීමට ප්‍රධානතම හේතුව වන්නේ අඩුවෙන් ජලය පානය කිරීම යි. එසේම කිවුල් ජලය පානය කිරීමත් මුත්‍රා ගල් ඇතිවීමට හේතුවක් වනවා. සාමාන්‍යයෙන් සිරුර විජලනයට ලක් වුණු විට මුත්‍රා ගල් ඇතිවන නිසා තාපයට සහ අධික සූර්ය තාපයට නිරාවරණය වන රැකියාවල නිරත වන පුද්ගලයන්ට මෙය වැළඳීමේ ප්‍රවණතාවය වැඩියි. බේකරි කර්මාන්තය ඒ සදහා නිදසුනක් ලෙස දැක්විය හැකියි. එසේම රාබු, කැකිරි, පිපිඤ්ඤා, අනෝදා, සහ තේ වැනි ඔක්සලේට් අධික අහාර වර්ග පරිභෝජනය කිරීම ද, කැල්සියම් අධික හාල්මැස්සන් වැනි ආහාරයන් ඔක්සලේට් සහිත තක්කාලි වැනි ආහාර සමග එකට පිස අනුභවය ද මුත්‍රා මාර්ගයේ ගල් ඇතිවීමට හේතු වනවා. ඊට අමතරව මුත්‍රා ආසාදනවලට නිසි පරිදි ප්‍රතිකාර නොකිරීම සහ ජානගත රෝගී තත්ත්වයන් නිසා මුත්‍රා ගල් ඇතිවිය හැකියි.

මුත්‍රා ගල් ඇති වීම වලක්වාගත හැකි ආකාර

යම් රෝගයක් ඇතිවීමට පෙර එය වලක්වාගත හැකි ක්‍රම අනුගමනය කළ යුතුයි. ඒ අනුව මුත්‍රා ගල් ඇතිවීම වලක්වා ගැනීම සඳහා පහත දැක්වෙන උපක්‍රම අනුගමනය කළ හැකියි.

1) දිනකට අවම වශයෙන් ජලය ලීටර් 3ක් පමණ පානය කිරීම. ඔබ උෂ්ණාධික ප්‍රදේශයක ජීවත් වන කෙනෙක් නම් දිනකට පානය කරන ජල ප්‍රමාණය තවත් වැඩි කළ යුතුයි.

2) ඔක්සලේට් අධික ආහාර වර්ග අඩුවෙන් පරිභෝජනය කිරීම

3) අධික ලෙස ප්‍රෝටීන්, සීනි, සහ ලුණු සහිත ආහාර අඩුවෙන් පරිභෝජනය කිරීම

4) උදරය ආශ්‍රිතව ස්ථුලතාවය අඩු කරගැනීම

5) මුත්‍රා ආසාදනවලට නිසි පරිදි ප්‍රතිකාර ගැනීම

6) මධ්‍යසාර භාවිතය අවම කිරීම

මුත්‍රා ගල්වලට කළ හැකි ප්‍රතිකාර

මුත්‍රා ගල්වලට ප්‍රධාන වශයෙන් ප්‍රතිකාර ලබාදෙන ක්‍රම කිහිපයක් තිබෙනවා. එහි දී ප්‍රතිකාර කරන ක්‍රමය තීරණය වන්නේ ඇතිව තිබෙන මුත්‍රා ගල්වල ප්‍රමාණය සහ වර්ගය මත යි. පහත දක්වා ඇත්තේ මුත්‍රා ගල් සඳහා ප්‍රතිකාර කරන ක්‍රම පිළිබඳව යි.

ස්වභාවිකව පිට වීමට ඉඩ දීම

මුත්‍රා ගලේ ප්‍රමාණය මි. මී. 5ට වඩා අඩු අවස්ථාවල දී මුත්‍රා වාහිනී ප්‍රසාරණය වීමට ඖෂධ ලබා දීම මඟින් ගල ස්වභාවිකව පිට වීමට ඉඩ සලසනවා.

ඖෂධමය ප්‍රතිකාර

ගල් දිය කිරීමේ ඖෂධ තිබුණත් ඒවා යොදාගත හැක්කේ යූරික් අම්ල ගල් සහ සිස්ටීන් ගල් යන වර්ග දෙකට සඳහා පමණයි.

කම්පන තරංග භාවිතය

ECSW ලෙසින් හඳුන්වනු ලබන මෙම ප්‍රතිකාර ක්‍රමයේ දී වකුගඩු සහ මුත්‍රා නාල ඉහළ කොටසේ ඇති ගල් කම්පන තරංග මඟින් මි. මී. 2ට වඩා කුඩා කොටස්වලට බිඳී යනවා. එවිට එම කුඩා ගල් කැබලි මුත්‍රා සමඟ පිටව යනවා.

එන්ඩොස්කෝප් භාවිතය

මෙම ක්‍රමයේ දී සිදුවන්නේ මුත්‍රා නාලය දිගේ කැමරාවක් සහිත සිහින් උපකරණයක් ඇතුළු කොට ගල ඇති ස්ථානයටම ගමන් කර ගල කොටස් වශයෙන් ඉවත් කිරීම යි. එහි දී ගල සහමුලින්ම ඉවත් වන බව තහවුරු කරගත හැ

ශල්‍යකර්ම

වර්තමානයේ දී බහුලවම සිදුකරන්නේ PCNL නම් ශල්‍යකර්මය යි. එම ශල්‍යකර්මය සිදුකරන විට පැරණි ක්‍රමවල දී තරම් විශාල කැපුමක් යොදන්නේ නැහැ. සාමාන්‍යයෙන් මෙය සෙ. මී. 1ක පමණ කුඩා කැපුමකින් සිදු කරන සැත්කමක්. එම ශල්‍යකර්මය මඟින් ගල කුඩා කොටස්වලට කඩා කැබලි ඉවත් කිරීම සිදුකරනවා. එසේම සැත්කම සිදුකරන්නේ වේදනා නාශක ලබා දී පූර්ණ නිර්වින්දන තත්ත්වයන් යටතේ යි. එම සැත්කම කර දින දෙකකින් පමණ රෝගියාට රෝහලෙන් පිටව යා හැකියි.

මුත්‍රා ගල්වලට ප්‍රතිකාර කිරීමට සුදුසුම තැනැත්තා වන්නේ වෛද්‍යවරයා යි. එනිසා ඔබට මුත්‍රා ගල් තිබේයැ යි සැක ඇතිවුවහොත්, කරුණාකර වෛද්‍යවරයෙකු හමුවන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here