නිකන් ෆේස්බුක් එකේ උඩ පහල ගිහිල්ල බලන්නකෝ, ආදරේ කරන්න කෙනෙක් නැති අයගෙ අඳෝනාව දිහා. මොකද මේ ගොඩක් අයට සහකාරයෙක් සහකාරියක් හොයාගන්න එක අමරු? විශ්වාස කරනවද ජපානයේ නම් මේකට ටියුෂන් පවා තියෙනවා. ලංකාවේ ඉතින් ඒ වගේ වැදගත් දේකට ටියුෂන් එකක් හොයාගන්න නෑනේ. ඔන්න ඒ නිසා රැජිණිය අපි ඔබට ඒ ගැන කියන්නයි යන්නෙ?

‌මේව හදාගත්තොත් ඉක්මනටම ඔයාටත් පැලේ තනිය මකන්න කෙනෙක් හොයාගන්න පුලුවන්.

01. පරණ ප්‍රේමය තාමත් හිතින් අතෑරලා නෑ

කලින් ආදරෙන් පැරදිලා ඉන්න අය සමහර වෙලාවට දරුණු තීරණ ගන්නවා, ආයෙ කාටවත් ආදරේ කරන්නෙ නෑ කියලා. නමුත් මේකෙන් ඔයාට ඔයාගේ කලින් ආදරවන්තයාට හෝ ආදරවන්තියට පාඩමක් උගන්වන්න නම් ලැබෙන්නෙ නෑ. මොකද රිදවගත්ත කෙනා වගේ නෙවෙයි රිදවපු කෙනාට ඉක්මනට අමතක වෙනවා. ආදරේ වේදනාව අමාරුයි තමයි,(සෑහෙන්න) නමුත් කාලය ඒකට විසඳුම් දෙනකොට ඔබ ඒක බාරගන්න ඕන. නැතිනම් දවසක පසුතැවෙන්න වෙනවා. මොකද ඔයාව දාල ගිය අය තමන්ගෙ ගමන යනවා. ඒ නිසා අතීතයේ එල්ලිලා ඉන්න එපා. දුක් විඳින්න, නමුත් ඉක්මනට කාමරෙන් එළියට ඇවිත් අලුත් ජීවිතය පටන් ගන්න.

02. රාජ තේජසින් අශ්වයා පිටින් එනකල් බලන් ඉන්න එපා

‌වැඩි දෙනෙක් තනි වෙලා ඉන්නෙ ලෝකෙ ඉන්න ලස්සනම, ධනවත්ම, හැඩකාරම, බුද්ධිමත්ම කෙනා හම්බ වෙනකල්. පුංචි කතාවක් තියෙනවා, ලොකුම මඥ්ඥොක්කා අලය හොයාගන්න වත්තෙම මඥ්ඥොක්කා හාරපු මිනිහෙක් ගැන. එයාට වත්තෙ මැද හරියෙදි ලොකුම මඥ්ඥොක්කා අලේ හම්බ් උනාලු, ඒත් ඊට වඩා ලොකු එකක් ඇති කියලා හොයාගෙන මුලු වත්තම හෑරුවාලු. අන්තිමට මැදදි හම්බුණ ලොකු ඒවත් හොයාගන්න බැරි වුණාලු.

මිනිස්සු කියන්නෙ හරිම අපරිපූර්ණ කොටසක්. අඩුපාඩු නැති අය නෑ. සමහර වෙලාවට මේ අඩුපාඩු තමයි ලස්සනම.

03. අන්සතු හදකට පෙම් බැඳීමේ වරද

අනුන්ගේ වතු වල වැවෙන දේවල්නෙ ලස්සනටම පේන්නෙ, නෙළාගන්න බැරි මල් තමයි ලස්සන. එහෙම කියලා ඉතින් කවදාවත් නොලැබෙන අයට ආදරේ කරන එකෙන් වෙන්නෙ ඔයාගෙ ජීවිතේ වටිනාම කාලයක් අපරාදේ ගෙවිලා යන එක. ඔයා ටිකක් උත්සහ කළොත් ඒ වගේම හොඳ කෙනෙක් ඔයාට හම්බෙන්න පුලුවන්. අනික මේ වටිනා උපදෙසක්, ඔයා ගොඩක් අගය කරන දේවල් ඔයාට නොලැබෙන තාක් කල් තමයි එහෙම වටින්නෙ. ලැබුණාම ඔයා ඒ දේවල් ගැන ඇත්ත දැන්ගන්න කොට, ඒවාත් නිකන්ම සාමාන්‍ය දේවල් වෙනවා. ඊට වඩා හොඳයි අපි අර නළු නිළියන්ට ආදරේ කරනවා වගේ දුරින් ඔය නොලැබෙන ක්‍රෂ් එක තියාගෙන තමන්ට ජීවිතේ බෙදාගන්න පුලුවන් කෙනෙක් හොයගන්න එක.

04. විශ්වාසයක් නැතිකම

අනිත් මිනිස්සුන්ව විශ්වාස කරන එක ඉතාම අමාරු වැඩක්, නමුත් එක ඇත්තක් තියෙනවා. කෙනෙක් විශ්වාසවන්තද නැතිද කියලා බලාගන්න මේ අවාසනාවන්ත ලෝකෙ එකම සාර්ථක ක්‍රමයයි තියෙන්නෙ, ඒ තමයි විශ්වාස කරලා බලන එක. ගොඩක් දෙනා නිතර කියනවා “ඔය කවුරුත් එකයි,සේරම කෙල්ලො ඔහොමයි, කොල්ලො කවුරුත් එකයි” වගේ කතා. මේව නිකන් කියන ඒවා නෙමේ, අත්දැකීමෙන් කියන ඒව.උත්සහ කරල බලන්න ඔබ මෙච්චර කල් තෝර ගත්ත සහකරුවන්ගෙ ලක්ෂණ මොනවද කියල ලියන්න. ඔබට තේරෙනව නම් මේ ඔක්කමලා පෙනුමෙන් වෙනස් නමෙන් වෙනස් වුනත් එකම වගේ අය කියලා අන්න එතන තමයි වැරැද්ද. මේක මනෝවිද්‍යාත්මක දෙයක්. ගොඩක් දෙනා නැවත නැවත තෝරගන්නෙ එකම විදියෙ කට්ටිය. ඊළඟ පාර මේක හොඳට හිතේ තියාගෙන ඉඳලා වෙනස් කෙනෙක් තෝරාගෙන බලන්න.

05. ඇත්ත සම්බන්ධතා වලට බය වෙන එක

මේක ඔබට වගේම ඔබත් එක්ක සම්බන්ධතා හදාගන්න අනිත් අයටත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. සම්බන්ධතා හදාගන්න පුලුවන් උනාට ගොඩක් කල් මේව කරගෙන යන්න බැරි අයට තියෙන්නෙ ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නෙ. කසාද බඳින එක, ගෙවල් වලට කියන එක, එක ගෙදරක ජීවත් වෙන එක වගේ ඒවට සමහර අය බයයි. සමහර විට මේක එන්නෙ දෙමව්පියෝ එහෙම ඉතාම අසාර්ථක ජීවිත ගත කරපු තැන් වල දරුවන්ට. ඒ වගේම සමහරු කැමති නෑ තමන්ගෙ නිදහස නැති වෙනවට. පාඩුවේ, පාලුවෙ කැමති දෙයක් උයාගෙන කාලා, කැමති දෙයක් කරගෙන ඉන්න එකට බාධා කරගන්න කවුද කැමති. නමුත් මේක නම් ඔයාගෙ තත්වෙ, පොඩ්ඩක් විවෘත වෙලා බලන්න ඔයා වගේම නිදහස අගය කරන අයත් ඉන්නව ඕන තරම්.

06. වුවමනාවට වඩා කැපී පෙනෙන්න හදන එක

සමහර අය හිතනව “ඇයි දෙයියනේ මම “මේ තරම් ලස්සනට ආකර්ෂණීයව ඉද්දිත්, මට කාවවත් හරියන කෙනෙක් හම්බෙන්නෙ නැත්තෙ”කියලා. මෙහෙම හිතන ගොඩක් අය තමන් ගැන විශාල අධි තක්සේරුවක ඉන්නෙ. ඕනම තැනකට අනවශ්‍ය විදියට ලස්සන ඇඳුම් අඳින, කැපී පෙනෙන්න හදන, හුරතල් වෙන්න, මුඛරි වෙන්න, විහිලු කරන්න එහෙම අනවශ්‍ය ලෙස උත්සහ කරනවා නම් ඔයා නැති තැන ඔයාට අනිත් අය හිනාවෙනවා, ඔයා ගැන කතා වෙනවා වෙන්න පුලුවන්. ලස්සනයි, ආකර්ෂණයයි නිසා ඔයා වටේ කට්ටිය හිටියත්, මිනිස්සු සහකාරයෙක් හොයාගනිද්දි කැමති අවංක, අව්‍යාජ අයටයි. ඒ නිසා ඔක්කටම කලින් ඔයා ඇත්ත කෙනා වෙන්න.

07. හදිස්සි වෙන්න එපා

සම්බන්ධතා ඇති කරගනිද්දි හදිස්සි වෙන එක ඉතාම නරකයි. කාලය ගන්න. ඔබ කැමති කෙනෙක් ඉන්නවා නම් ටීනේජ‍ර්ස්ලා වගේ දැක්ක ගමන් පස්සෙන් යන්න, එයාගෙ ඉන්බොක්ස් එක පුරවන්න, ආදරෙයි කියන්න, අනාගතේ ප්ලෑන් කරන්න හදන්න එපා. මේකෙන් වෙන්නෙ ඔයා කැමති කෙනාට ඔයාට කැමති වෙන්න තියන අවස්තාව නැති කරන එක. ඒ වෙනුවට එයාල එක්ක දිගටම ඉන්න. වදයක් නොවී නිතර මුණ ගැහෙන්න, කරදර නොකර ඉඳ හිට මැසේජ් එකක් දාන්න. කාලයට ඉඩ දෙන්න. දැක්ක ගමන් ආදරේ කියලා එයාලව බය කරලා දාන්න එපා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here