කොණ්ඩය කියලා කියන්නේ පෙරදිග කාන්තාවන්ගේ සුන්දරත්වය මනින සාධක අතර ප්‍රධානම තැනක් ගන්න අංගයක්. අවුරුදු කුමාරිය තරගයකදී කාන්තාවකගේ සුන්දරත්වය මනින ආකාර පහ වන පංච කළ්‍යාණියේ කේෂ කළ්‍යාණිය ප්‍රධාන තැනක් ගන්නවා.

අද ලෝකයේ කාර්‍යබහුල ජීවන රටාව වගේම, එදිනෙදා අපේ හිසකෙස් වල ගල්වන ආලේපන, හිසකෙස් බාහිරට නිරාවරණය වීම වගේ දේවල් රාශියක් නිසා කොණ්ඩය හොඳින් පවත්වාගෙන යනවා කියන එක ලේසි පහසු කාරණාවක් නෙවෙයි.

ඉතින් අපි මේ සූදානම් වෙන්නෙ ඔබේ වරලසේ සුන්දරත්වය රැකගන්න පුංචි උපදෙස් කිහිපයක් දෙන්නයි.

01. නිවැරදි ෂැම්පු එකක් තෝරා ගන්න

තරමක් වැඩිපුර වියදම් කරල හරි කමක් නෑ, රසායනික ද්‍රව්‍ය අඩු, හොඳ ෂැම්පු එකක් තෝරා ගන්න. මෙහිදී ඔබේ හිසකෙස් වල තත්වයත් හොඳින් අවබෝධ කරගෙන රූපලාවන්‍ය ශිල්පිනියකගෙන් උපදෙසක් අරගෙන මිලදී ගන්න හැකිනම් වඩාත් හොඳයි. වෙළඳ දැන්විම් දිහා බලලා මිලදී ගන්න එපා. සාමාන්‍ය ප්‍රකට ෂැම්පු වලට වඩා හොඳ විශ්වාසවන්ත ආයුර්වේද ෂැම්පු එකක් තියනව නම් ඒක භාවිතා කලත් කමක් නෑ.

02. හිසකෙස් හොඳින් සෝදන්න

හිසකෙස් හොඳින් සෝදන්න. නිතර සෝදන්න. නමුත් දිනපතා සෝදන්නෙ නැති නම් වඩාත් හොඳයි. නමුත් ඔබ දිනපතාම හිසට දහඩිය දාන වැඩ කරනවා නම්, පාසල් ළමයෙක් නම්, දිනපතා හිසකෙස් සේදිය යුතුයි. ඒ වගේම ඔබේ හිසකෙස් තෙල් ගතිය වැඩි නම් නිතර සේදීම සුදුසුයි. ඔබේ හිසකෙස් වියළි නම් දිනපතා සේදීම සුදුසු නැහැ, එමගින් හිතකර ස්වාභාවික තෙල් වර්ග ඉවත් වී යන්වා.

03. ෂැම්පු නිවැරදිව ගාන්න

ඔබේ හිසකෙස් වල ස්වාභාවය අනුව හා ප්‍රමාණය අනුව ගාන්න ඕන ෂැම්පු ප්‍රමාණය තීරණය කරන්න. නමුත්, ෂැම්පු ගොඩාක් ගාන්න එපා.

නෑමට පෙර හොඳින් හිස පීරන්න. ෂැම්පු ස්වල්පයක් අත්ලට අරගෙන, වතුර ටිකක් දාලා පෙණ නගින තුරු අතුල්ලන්න. ඉන් පසු හිසකෙස් වල මුල සහ හිස් කබලෙ ආලේප කරන්න. ඔබේ ඇඟිලි තුඩු වලින් හොඳින් රවුමට හිස සම්බාහනය කරන්න, නමුත් නියපොතු භාවිතා කරන්න එපා. සෝදා හරින තෙක් මෙහෙම දිගටම සම්බාහනය කරන්න.

04. හිසකෙස් මොයිස්චරයිස් කරන්න, පෝෂණය කරන්න

ෂැම්පු සමඟම හෝ ෂැම්පූ සෝදා හැරි විගසම කන්ඩිෂනර් වර්ගයක් භාවිතා කරන්න. සාමාන්‍යෙන් ඔබේ හිසකෙස් වල ඇති මොයිස්චරයිසර් ගතිය නෑමෙන් හානි වෙනවා. කන්ඩිෂනර් හෝ හෙයා බාම් මගින් මෙය නැවත ලබාගත හැකියි. හිස කෙස් වල අග සිට මුලට ආලේප කරන්න. සමේ ගෑවෙන්න දෙන්න එපා.

හැකි නම් හිසකෙස් සඳහා ඇති මාස්ක් එකක් සතියකට වරක් හෝ දෙවරක් භාවිතා කරන්න. ඖෂධීය සත්කාර වුණත් හොඳයි.

05. නිවැරදි උෂණත්වය සහිත ජලයෙන් හිස සෝදන්න

ගොඩාක් වෙලාවට රෑ වෙලා නිවසට ආවාම එහෙම උණු වතුරෙන් නාන්න හුඟක් දෙනා පෙළැඹෙනවා. නමුත් උණු වතුරෙන් හිස සෝදන්න එපා. උණු වතුරට හිසකෙස් වල වර්ණය පිච්චෙනවා වගේම තෙල් නිපවදවන ග්‍රන්ථි ක්‍රියාත්මක කරවනවා.

වඩාත්ම හොඳ ඔබ මද උණුසුම් හෝ ඇල් ජලය භාවිතා කිරීමයි. මෙය මේද ග්‍රන්ථි වල ස්‍රාවයන් තනුක කිරීමටත්, අපිරිසිදුකම ඉවත් කිරීමට සහ රුධිර සංසරණය වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා.

දිය නා අවසානයේ සිසිල් හෝ සීතල (cold) ජලයෙන් හිස සේදීම මගින් කේශ මූල වල රුධිර සංසරණය උත්තේජනය කර හිසකෙස් වලට දිදුලන හා සුසිනුදු පෙනුමක් ලබා දෙනවා.

06. හිසකෙස් තුවායෙන් ඔතාගෙන වියලන්න එපා

ඔබේ හිසකෙස් සෝදාගත් පසු, තුවායෙන් මුල සිට කෙළවර දක්වා මෘදු ලෙස පිස දමන්න. ඔබේ හිස වටා තුවාය බැඳ ගන්න එපා. මෙමගින් හිස කෙස් වලට හානි සිදුවිය හැකිය. ඔබේ කොණ්ඩය ඉක්මණින් වියළා ගැනීමට අවශ්‍ය නම්, තුවායක් වෙනුවට කපු ටී ෂර්ට් එකක් භාවිතා කරන්න.

07. නිතර නිතර සහ කලබලයෙන් පීරන්න එපා.

නිතර පීරිමෙන් හිසකෙස් ඇදීමට ලක්වෙනවා ඒ වගේම අස්ථාවර වෙනවා. තෙත කොණ්ඩය පීරන්න එපා. නාලා හිසකෙස් වේලෙන කල් ඉන්න, ඉන් පසුව හෙමින් ඇඟිලි වලින් ගැට වත් කරමින් හිස කෙස් වෙන් කරගන්න. ඉන්පසු දැති ලොකු පනාවකින් පීරාගන්න.

කොණ්ඩය අග සිට පීරන්න පටන් ගන්න. ක්‍රමයෙන් ඉහලට යන්න.

08. මෝස්තර දැමීමේ උපකරණ නිතර භාවිතා කරන්න එපා

හිසකෙස් වියලන යන්ත්‍ර, ස්ට්‍රේට් හෝ කර්ලින් අයන් නිතර භාවිතා කරන්න එපා. ඒවා ඔබේ හිසකෙස් වල තරලය විනාශ කරනවා. ඔබට එවැනි දේ නිතර භාවිතා කිරීමට සිදුවනවා නම්, උෂ්ණත්වයෙන් හිස ආරක්ෂා කරන ආරක්ෂිත ආලේපන වර්ග භාවිතා කරන්න.

09. හිසකෙස් වියළනය නිවැරදිව භාවිතා කරන්න

රැකියාවක් කරන යුවතියක් නම් බොහෝ විට හිසකෙස් වියළනය භාවිතා කරන්නම වෙනවා වෙන්න පුලුවන්. මෙය නිවැරදිව භාවිතා කරන්නෙ මෙහෙමයි.

  • මුලින්ම තෙත හිසකෙස් තුවායකින් තෙත මාත්තු කරගන්න.
  • ‌හෙයා ඩ්‍රයර් එකේ පැතලි නොසල් එක සවි කරගන්න. එය හිසකෙස් වලට තියුණු ඇලයකට තිබෙන සේ අල්වාගෙන අග සිට මුලට වියළන්න.
  • ‌මුලින් හිසකෙස් තෙත්ව තිබියදී උෂ්ණත්වය වැඩි කර භාවිතා කළත් තරමක් වියලුණු පසු උෂ්ණත්වය අඩු කිරීමෙන් අනවශ්‍ය ලෙස වියළීම අඩු කරගත හැකියි.
  • ‌හෙයා ඩ්‍රයර් එකක් මිළදී ගැනීමේදී උෂ්ණත්වය පාලනය කළ හැකි එකක් තෝරා ගන්න.
10. පෝෂදායි ආහාර ගන්න

සමබර ආහාර වේලක් නොමැතිකම සහ සෞඛ්‍යයට අහිතකර ආහාර ගැනීම නිසා විටමින් සහ ඛනිජ ලවණ ශරීරයට නොලැබී යනවා. එවැනි ආහාර වලට පුරුදු වුණොත් නම් ඔබට සුන්දර හා ලස්සන වරලසක් අමතක කරන්න වේවි. ඔබේ ආහාර වේලට වැඩිපුර ප්‍රෝටීන් සහ සත්ව ආහාර එකතු කරගන්න.

ඔබේ හිසකෙස් පෝෂණයට ඉතා අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයක් තම්‍යි සින්ක් කියන්නේ. සින්ක් ලබා ගැනීමට නම්, අලිපේර, කැඳ වර්ග, බිත්තර්, මුහුදු ආහාර ඔබේ අහාරයට එකතු කරගන්න.

ඒ වගේම හිසකෙස් වලට යකඩ හා කැල්සියම් අත්‍යාවශ්‍යයි. මාළු, හාල්මැස්සන්, නිවිතිය, ඇට වර්ග, කුකුල් මස්, තිරිඟු පිටි ආදියේ මේවා අඩංගුයි.

11. නිරෝගී ජීවිතයකට හුරු වෙන්න

සමහර අවස්තාවල හිසකෙස් දුර්වල වීම හා වැටීම වෙනත් රෝග වල ප්‍රථිපල විය හැකියි. ආමාශයික රෝග, තයරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග, මානසික පීඩනය, හෝමෝන අසමබරතාවයන් සහ දියවැඩියාව ආදී තත්ව නිසා මෙහෙම හිසකෙස් වැටීම හා දුර්වල වීම විය හැකියි.

අපේ ශරීරයේ පෝෂණය ලැබෙන අවසාන තැන තමයි හිසකෙස්. ඒ නිසා හිසකෙස් වල දුර්වලතාවය මගින් තවත් තත්ව රශියක් ගැන ඉඟි කරනවා වෙන්න පුලුවන්. එම නිසා වෛද්‍යවරයෙකු හමුවෙන්න.

‌12. තොප්පියක් පළදින්න

මේක ලංකාවේ ඒතරම් ජනප්‍රිය මෝස්තරයක් නොවුණත් අව්වේ යන විට තොප්පියක් පළඳින්න. නමුත් හිසට තදවෙන තොප්පි තෝරාගන්න එපා.

13. පනාව සෝදන්න

ඔබේ පනාව නිතර සෝදන්න. ඔබ නිතර භාවිතා කරන කොණ්ඩ කටු හෝ කොණ්ඩා පටි පවා සෝදලා භාවිතා කරන්න. ඒ වගේම පැරණි පනා ඉවත් කර අලුත් ඒවා ගන්න.

14. හිස කෙස් වල අග කපන්න

මාස දෙකකට වරක්වත් හිසක්ස් වල අග කපන්න. මේ මගින් අග පැලීම් ඇත්නම් ඒවා ඉහලට පැතිරීම වළක්වනවා.

15. හිසකෙස් ඉහලට කර තබාගෙන නිදාගන්න

හිසකෙස් කොට්ටයෙන් ඉවතට කර නිදාගන්න. නැතිනම් කොණ්ඩය ගොතාගෙන නිදාගන්න. මේ මගින් කොණ්ඩය කැඩී යාමත් අවුල් වීමත් වැළකෙනවා.

16. කොණ්ඩය වැවෙන්න වැස්ලින් භාවිතා කරන්න

හිසකෙස් අග පැලී යාමට බොහෝ විට හේතුව ඔබේ හිසකෙස් වල වියළි ස්වාභාවයයි. මේ සඳහා වැස්ලින් භාවිතා කරන්න. අග පැලීම අවම කර හිසකෙස් වල තෙතමනය රඳා පවත්වා ගැනීමට මෙය උපකාරී වේවි.

RELATED POSTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here