සමහර වෙලාවට අපි මුහුණ දෙන සමහර අවස්ථාවන් වලදී අපට අපි ගැනම කිසිම ආකාරයක තීරණයක් ගන්න බැරි තරම් හිර වෙනවා. සමහර විට අපිට අපි අකමැති දේවල් කරන්න වෙනවා. අනෙක් අයට ඕන විදියට පාලනය වෙන්න වෙනවා. මේ වගේ අවස්ථාවන් වලින් ගැලවෙන්න සාමාන්‍ය කතා සහ ක්‍රියාවන් පමණක් ප්‍රමාණවත් නොවෙන්න පුලුවන්.

මෙන්න මේ වගේ අමාරු අවස්ථාවන් වලින් ගැලවෙන්න නම් ඔබ එවැනි මානසික ප්‍රයෝග ගැන දැනුවත්ව සිටීම වැදගත්.

‌01. සංවේදිභාවය සහ හදිසිය

මේ ක්‍රමය සාමාන්‍යෙන් ගොඩක් අන්තර්ජාලයේ වෙළඳ දැන්වීම් ආශ්‍රිතව භාවිතා කරනවා දැක ගන්න පුලුවන්. විශේෂයෙන් හෝටල් හා සංචාරක ක්ෂේස්ත්‍රයේ වෙළඳ දැන්වීම් වල තියෙනවා ” මේ අන්තිම කාමරය, ඉක්මන් කරන්න” ආදී ලෙස පොප් අප් දැන්වීම් පෙන්වනවා. ඒ වගේම නිතරම ඔබ දකිනවා “මේක ඔබේ මිත්‍රයන් සියල්ලන්ම භාවිතා කරනවා, මේක ලෝකෙ මිලියන 20ක් දෙනා භාවිතා කරනවා” ආදී පණිවිඩ. මේක ඔබ දැකලා ඇති මෙහි ඇති මනෝ විද්‍යාත්මක අඩංගුව නොදැන වුණත් වෙළෙඳුන් විසින් භාවිතා කරනවා. අන්තිම ලොතැරයි දහය, ඔක්කොම ඉවරයි මේ අන්තිම එක ආදී ලෙස කියනවා.

මේ ප්‍රයෝගයේදී භාවිතා වෙන්නෙ මිනිස්සුන්ට නිතරම සමස්තයට එකතු වෙන්න තියන දැඩි උවමනාවයි, කලබල වුණාම නිවැරදි තීරණ ගන්න තියන නොහැකියාවයි. මිනිස්සුන්ට “මිලියනයක් දෙනා මේක භාවිතා කරනවා” වගේ පණිවිඩයක් දැක්කාම, සමස්තයට තමන් අයත් නොවේ යැයි බියක් ඇති වෙනවා. ඒ වගේම කලබලය නිසාත් නිවැරදිව හිතන්න බැරි වෙනවා. මේ දෙකම පාවිච්චි කරලා තමන්ට අවශ්‍ය දේ කෙනෙක් ලවා කරවා ගන්න පුලුවන්

02. අදහස් සහ කරුණු පැටලවීම

සාමාන්‍යෙන් ඔබ ලවා යම් දෙයක් කරවා ගැනීමට, ඔබට කිසියම් තීරණයක් නිවැරදි බව පෙන්වීමට පුද්ගලයන් භාවිතා කරන ක්‍රමයක් තමයි, පැටලිලි සහගත කරුණු හා අදහස් රාශියක් අතර ඔබව ස්ථානගත කිරීම. ඔබේ මොළය ෂර්ලොක් හෝම්ස්ගේ වගේ වේගෙන් ක්‍රියාකරන එකක් නොවන නිසා දත්ත, තොරතුරු විශාල ප්‍රමාණයක්මැද ඔබට නිවැරදි එක තෝරා ගැනීමට ඇති හැකියාව අහිමි වෙනවා.

ඒ වගේම ඔබව ව්‍යාජ ‍යථාර්තයන් වල පිහිටුවීමත් ඔවුන් සිදු කරනවා. මෙහි අදහස වෙන්නේ ඔබට ඇත්ත වගේම පෙනෙන බොරු වල ඔබව අතරමං කරනවා කියන එක. උදාහරණයක් හැටියට ඔබේ සහකාරයා හෝ සහකාරිය ඔබව හැර යනවා නම් ඔවුන් ඔබට කියන්න පුලුවන් ඔබ ඔවුන්ට සැළකුව විදිය ඉතාම නරකයි කියලා කියන්න. ඒ වගේම ඔවුන් ඔබට ඒකට ඕන තරම් උදාහරණත් පෙවාවි. මෙයින් වෙන්නෙ ඔබ දෙදෙනා වෙන්වීම සම්පූර්ණයෙන්ම ඔබේ වැරැද්දක් බවට පත් වීමයි. මෙවැනි අවස්ථා වලින් ගැලවෙන්න ඔබේ ක්‍රියාවන් පිළිබඳ ඔබ නිතරම නිවැරදි තක්සේරුවක සිටින්න.

03. හිතන්න එපා, විශ්වාස කරන්න

සමාන්‍යෙන් හමුදාවන් පුහුණු කරනකොට ඔවුන්ට එක වවැදගත් දෙයක් පුහුණු කරවනවා. ඒ තමයි ප්‍රශ්න නොකර ලබා දෙන උපදෙස් අනුව කටයුතු කිරීම. නමුත් ඔබ සාමාන්‍ය ජීවිතයේදී එහෙම කරන්න අවශ්‍ය නෑ. නමුත් ගොඩක් වෙලාවට ඔබ නොදැනුවත්වම ඔබ ඉන්නෙ පාලනය කරන ලද වාතාවරණයන් වල.

මේ වගේ ඔබව පාලනය කරන පුද්ගලයන්ගේ ඉතාම වැදගත් ලක්ෂණයක් තමයිොවුන් ඔබට හිතෙන්න සලස්වනවා ඔබ ඉන්නේ සම්පූර්ණයෙන්ම තීරණය කරන්න පුලුවන් අවස්තාවක කියලා.

මේකට හොඳම උදාහරණය තමයි සුපර් මාකට්. හිතන්න ඔබට අවශ්‍ය වෙනවා ඇඟේ ගාන සබන් වර්ගයක් ගන්න. ඔබ දන්නවා මේව නමින් වෙනස් වුණාට කියන විදියේ පුදුමාකර ගතිගුණ එකක් වත් නෑ. දැන් ඔබට හමුවෙනවා ඉතාම ප්‍රකට සබන් වර්ගයක්. හිතන්න ඔබට වෙනත් වෙළඳ නාමයක් මිලදී ගන්න අවශ්‍ය වුණා කියලා. ඔබ නිතර සුපර් මාකට් යන කෙනෙක් නම් ඔබට අනිවාර්‍යෙන්ම මේ අත්දැකීම තියෙනව, ඔබට අවශ්‍ය වෙළඳනාමය නම් සොයාගන්න ලැබෙන්නෙ නෑ. ඔබ පහසුවෙන් ලබාගන්න තියෙන වෙළඳ නාමය මිලදී ගන්නවා.

සුපිරි වෙළඳ සැලක ප්‍රධානම වැදගත්කම තමයි ඔබට අවශ්‍ය දේ තෝරාගන්න තියන නිදහස. නමුත් ඔබට වැඩියෙන්ම අහිමි වෙන්නෙත් ඒක තමයි. මේක ගොඩක් වෙලාවට දේව බලයෙන් ලෙඩ හොඳ කරන විවිධ ව්‍යාජ ආගමික ස්ථාන වල එහෙමත් පාවිච්චි කරනවා.

මෙයින් ගැලවෙන්න ඔබ කරන්න ඕන ඔබ දැඩිව විශ්වාස කරන ආයතනය හෝ පුද්ගලයා ඔබට කරන්නෙ බොරුවක් නම් කියන උපකල්පනයේ සිට හිතලා බලන එක. ඒ වගේම කිසිම පුද්ගලයෙක් හෝ ආයතනයක් හෝ සංවිධානයක් ඉතාම හොඳයි කියලා හිතාගෙන ඉන්න එපා.

04. වැරදිකාරි බව පාවිච්චි කිරීම

සාමාන්‍යෙන් මානසික ප්‍රයෝග ගැන දැනුවත් පුද්ගලයෙක්ට ඔබගෙන් උදව්වක් අවශ්‍ය උණොත් ඔවුන් කරන්න ඔබට කරන්න අපහසු විශාල උදව්වක් ඔබෙන් ඉල්ලන එක. ඉන් පසුව ඔබ ඒකට බෑ කිව්වම ඔවුන් ඊට වඩා ප්‍රමානාත්මකව අඩු උදව්වක් ඔබෙන් ඉල්ලනවා. මෙතනදි වෙන්නෙ ඔබට පළවෙනි ඉල්ලීමට එකඟ නොවීම නිසා ඇති වෙන වැරදිකාරී මාන්සිකත්වය නිසා ඔබට දෙවන ඉල්ලීමට එකඟ වෙන්න හිතෙන එක. උදාහරණයක් විදියට ඔබගෙන් රුපියල් පන්දාහක් ඉල්ල ගන්න ඕන වුණාම ඔවුන් ඔබෙන් විසිදාහක් ඉල්ලනවා. ඔබ ඒ වගේ මුදලක් නෑ කිව්වොත් අඩුගානෙ පන්දාහක් ඉල්ලා සිටින්න පුලුවන්.

ඒ වගේම ඔබව අනවශ්‍ය විදියට පාවිච්චි කරන්න ඕන පුද්ගලයෙක් ඔබට යම් උදව්වක් කරලා ඒක මතක් කරමින් හෝ ඒ උදව්ව ලබා ගැනීම ගැන ඔබේ වැරදිකාරිත්වයෙන් ප්‍රයෝජන ගන්න පුලුවන්. ඔබ කෙනෙක්ගෙන් උදව්වක් ගත්තාම ස්තූතියි කිව්වාම ප්‍රමාණවත්. ඔබ උදව්වක් ලබා ගැනීමෙන් කෙනෙක්ගේ වහලෙක් බවට පත් වෙන්නේ නෑ.

05. ඒකාකෘත සවිඥානය ක්‍රියාත්මක කිරීම

ඒකාකෲත සවිඥානය කියන්නේ සමාජයේ පොදුවේ දකින්න ලැබෙන ආකෘති පිළිපැදීමට ඇති වෙන කැමැත්ත. විශේෂයෙන්ම මේක සිද්ධ වෙන්නෙ පවුල, සතුට, සාර්ථකත්වය ආදී දේවල් ගැනයි. උදාහරණයක් විදියට ඔබ සතුටින් ඉන්න පවුලක් ලෙස රූපවාහිනිය මගින් හෝ පොදු සමාජය මගින් පෙන්වන රූපයට පහසුවෙන් අහු වෙනවා. ඔබට තියෙන්නෙ ඊට වඩා තරමක් හෝ වෙනස් පවුලක් නම් ඔබ හිතන්න ගන්නවා මේක අසාර්ථක පවුල් ජීවිතයක් කියලා. ලියෝ තෝල්ස්තෝයිගේ කියමනක් තියනවා, “සේරම සතුටින් ඉන්න පවුල් එක වගේ, නමුත් සෑම සතුටින් නොසිටින පවුලක්ම එකිනෙකාට වෙනස් විදියටයි අසතුටින් ඉන්නේ” කියලා. මේ කියමන් ගැන ටිකක් හිතලා බලන්න.

‌ඒ වගේම සාර්ථකත්වය ගැන එහෙමත් ඔබ අනෙක් අයගේ මිනුම් වලින් මනින්න පුරුදු වෙන්න එපා. කෙනෙක් විවාහ වෙන එක සාර්ථකත්වය ලෙස දකින අතර කෙනෙක් වැඩිදුර ඉගෙන ගැනීම සාර්ථකත්වය ලෙස දකින්න පුලුවන්. මේ වෙනස වටහා ගන්න, අනෙක් අයගේ මිමි වලට සමාජ සම්මුතින් වලට නතු වෙලා ඔබේ ජීවිතය ගැන තීරණ ගන්න එපා.

06. ප්‍රබුද්ධ වචන මාලාවක් භාවිතා කිරීම

දැනුම අනිවාර්‍යෙන්ම බලයක්. දැනුම හෝ දැනුම ඇති බවට පෙන්වීම තුලින් පුද්ගලයන් ඔබව පාලනය කරන්න උත්සාහ කරනවා. මේක ආකාර කිහිපයකට සිදුවිය හැකි, සුලභම ක්‍රමය තමයි බරපතල, අමාරු , නොතේරෙන, බර වචන භාවිතා කරන එක. බුද්ධිමත්බාවය සහ සැබෑ දැනුම තියෙන පුද්ගලයෙකුට පුලුවන් ඕනෑම අදහසක් ඉතාමත් සරල වචනයෙන් ප්‍රකාශ කරන්න. බරපතල වචන කෙනෙක් භාවිතා කරමින් ඉන්නවා නම් ඔබට පුලුවන් ඕනෑම අවස්ථාවක ඒවගේ තේරුම අහන්න. ගොඩක් වෙලාවට ඇත්ත තමයි මේ වචන වල අර්ථය ඔවුන් දන්නෙත් නෑ.

ඒ වගේම අපේ රටේ නම් ඉංග්‍රීසි භාෂාවට පුද්ගලයන් දක්වන බිය මේ විදියට පාවිච්චි කරනවා. ඔබගේ මව් භාෂාව නොවෙන භාෂාවක් භාවිතා කිරීමට නොහැකි වීම ලැජ්ජාවට කරුණක් නෙවෙයි. ප්‍රංශය, ඉතාලිය වැනි යුරෝපිය රටවල පවා මිනිස්සුන්ට ඉංග්‍රීසි කතා කිරීමට හැකියාව ඉතාම අඩුයි. ඒ වගේම ඉංග්‍රීසි කතා කරන සියලුම දෙනා අසාමාන්‍ය බුද්ධි ප්‍රභාවක් සහිත අය නෙවෙයි.

07. සාර්ථකත්වය පමණක් පෙන්වීම

මේ අකාරයට මිනිසුන් පාලනය කරන්නෙ බොහෝ විට ප්‍රසිද්ධ කතා පවත්වන්නන් තමයි. ප්‍රසිද්ධ දේශකයන් බොහෝ දෙනෙක් කරන්නේ ව්‍යාපාරයක්. ඔවුන් ඔබව ලස්සන කතා වලින් රවටා මුදල් හොයනවා. ධනාත්මක චින්තනය, යහ පැවැත්ම, ආගම ආදීන් ගැන දේශන කිරීම ලෝකෙ අද වන විට ප්‍රධානම ව්‍යාපාර වලින් එකක්. ඔබ මෑත කාලීනව තිරගත වූ තෙලිගු චිත්‍රපටයක් වන ට්‍රාන්ස් නරඹා තියෙනව නම් ඔබට මේ ගැන අවබෝධයක් තියෙනවා.

මේ දේශකයන් බොහෝ දෙනෙක් කරන්නෙ ගොතපු කතා ඉදිරිපත් කරන එකයි. ඔවුන් බොහෝ වෙලාවට තමන්ගේ ජීවිතයේ යහපත් දේවල් විතරයි ඔබට කියන්නෙ. මේ කතා අහනකොට ඔබට හිතෙනවා ඔබ ඉතාම නරක, අසාථක, නරම පුද්ගල චරිතයක් තියෙන කෙනෙක් කියලා. මෙන්න මේ හැඟීම තමයි ඊළඟට ඔබව ඔවුන් වෙත දිගටම රැඳී ඉන්න හේතු වෙන්නෙ.

මේක කරන්නෙ දේශකයන් විතරක් නෙවෙයි. ඔබේ හිතවත් අඳුනන අයත් මෙහෙම කරනවා. ඔවුන්ගෙන් ප්‍රවේශම් වෙන්න. කිසිම කෙනෙක්ට සම්පූර්ණයෙන් නිර්මල නිවැරදි ජිවිත නැති බව දැනගෙන ජීවත් වෙන්න.

08. කලින් එකඟතා වලට පිවිසීම

ඔබ කුමන ආකාරයක හෝ අසාමාන්‍ය අවස්තාවන් වලදී අමුතු පිස්සු වැඩ වලට එකඟ විය හැකියි. සමහරවිටඔබ තරමක් බීමතින් සිටිය සාදයකදී හෝ ක්‍රීඩා තරඟයක් නරඹන විට හෝ ඔබේ මිතුරෙක් ඔබව යම් ක්‍රියාවක් සඳහා එකඟ කරවා ගත්තා විය හැකියි. නමුත් සැබෑ අවස්තාව එළබෙන විට ඔබට වැටහෙනවා නම් මෙය නොකළයුතුයි කියලා, බැහැ කියන්න පැකිලෙන්න එපා. සම්මුතිය පිළිබඳ මතක් කිරීමෙන් කෙනෙක් ඔබව ඒ ක්‍රියාවට බලෙන් පොළඹනවා නම්, “මම එවෙලෙ ටිකක් බීලනෙ හිටියෙ, අයියෝ මම ඒක කිව්වෙ වැඩිදුර හිතල නෙවෙයි” ආදි ලෙස කියලා මේ තත්වය මගහරින්න. පසුව පසු තැවෙන දේ කරන්න එපා.

09. නැවත නැවත කීම

වෙළඳ දැන්වීම් වල සාමාන්‍යෙන් භාවිතා කරන්නෙ මේ ක්‍රමය තමයි. ඔබට ඇත්තටම අනවශ්‍ය දෙයක් වුණත් ඔබ මිළඳීගන්න මේක බලපානවා. කෙනෙක් ඔබේ ඔලුවට යම් අදහසක් දාන්න වුවමනා වුණාම ආය අයම ඒක ඔබට කියන්න පුලුවන්. මේ ක්‍රමයට ඔබේ අකමැති දේවල් වුනත් ඔබ කරන්න පෙලඹෙනවා.

10. හේතු දැක්වීම

සාමාන්‍යෙන් ඔබ මොකක් හරි දේකට එකඟ වෙනකොට ඒකට හේතුව විමසා බලනවා. නමුත් හේතුව කුමක් උණත් හේතුවක් තියෙනවා කියන අදහසම ඔබව යම් දේවල් වලට එකඟ වීමට සෑහෙනවා. මෙන්න මේ නිසයි මේක කරන්න මෙන්න මේකයි හේතුව ආදී ලෙස කියන දේවල් වලට ඔබ පහසුවෙන් එකඟ වෙනවා. හේතුවක් තිබ්බා උණත් ඒක ඇත්ත හේතුවක්ද තාර්කික හේතුවක්ද කියල සැලකිලිමත් වෙන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here