නින්ද ගැන අපි ගොඩාක් දේවල් කතා කළා. නමුත් තවත් දේවල් ගොඩක් තියනවා නින්ද ගැන කතා කරන්න. නින්ද කියන්නෙ හරිම පුදුමාකාර දෙයක්. එක අතකින් ඒක සොබාදහම අපට දුන්න අපූරු දායාදයක්.

‌මිනිසුන් සතුන් ඇයි නින්දට වැටෙන්නෙ? මොකද අපි ලේ, මස්, නහර වලින් සැදුණු ජීවින් නිසා. අපේ ශරීරය, මනස තමන්ගේ ක්‍රියාවලි වලින් වෙහෙසට පත් වෙනවා. එය නැවත ප්‍රතිජනනය කරන්න, ආයම ඔක්කෝම සිස්ටම් බූට් වෙන්න තමයි මේ නින්ද අත්‍යාවශ්‍ය වෙන්නෙ.

අපි නිදාගත්තම සියලුම ශාරීරික ක්‍රියාවලින් නතර වෙන්නෙ නැති බව ඔබ දන්නවා. එහෙම වෙන්නෙ මැරුණාමනේ. නමුත් නිදා ගත්තාම මොකද වෙන්නෙ? අපි මේ කියන්න යන්නෙ ඒ ගැනයි.

1. ඔබේ මාංශපේෂි අක්‍රිය වෙනවා

නින්දේ ගැඹුරුම අවස්ථාව හඳුන්වන්නේ වේගවත් අක්ෂි චලන අවස්ථාව (Rapid Eye Movement  REM) කියලයි. ඔබ නින්දේ මේ අවස්තාවට ලඟා වුණාම ඔබට තාවකාලිකව සෙලවීමට හෝ දෑත් දෙපා චලනය කිරීමට හෝ නොහැකියි.

සමහර වෙලාවට නින්දෙන් අවදි වූ වහාමත් මේ තත්වය අත්දැකිය හැකියි. විශේෂයෙන්ම ඔබ නරක හීනයක් නිසා හදිසියේ අවදි වූ විට හෝ නිද්‍රාලුව නම් තත්වය ඇති නම් මෙලෙස අවදි තත්පර කිහිපයක් යනතෙක් මේ තත්වය අත්දැකීමට හැකි වෙනවා.

2. ඔබේ දෑස ඉතාම වේගයෙන් චලනය වෙනවා

නින්දේදි සියලුම දෑ සිදු වන්නේ ඔබේ සිරුරේ සහ මොළයේ යහපැවැත්ම උදෙසායි. නින්දේ එකකට වඩා එකක් ගැඹුරු අවධි කිහිපයක් තිබෙනවා මේ අවධි සියල්ල පසු කළ පසු නැවත මුල සිට එය ඇරඹෙන චක්‍රීය ස්වභාවයකුයි නින්දට තිබෙන්නේ. මෙහි ගැඹුරුම අවධිය සාමන්‍යෙන් ක්‍රියාත්මක වන්නෙ ඔබ නින්දට ගොස් විනාඩි 60-90 අතර කාලය තුලයි. මේ කාලයේ ඔබේ ඇස ඉතාමත් වේගයෙන් ඉහල පහල චලනය වෙනවා. නමුත් ඔබට මේ ගැන දැනීමක් නැහැ. මෙසේ සිදුවන්නේ ඔබේ සිහින තුල ඔබ ඉතාමත් ක්‍රියාකාරී වීම නිසයි.

3. වර්ධක හෝමෝන ශ්‍රාවය වෙනවා

පොඩි ළමයි නින්දෙදි ලොකු වෙනවා කියලා කතාවක් අහල තියනවා නේද? මේක නිකන් හිතලුවක් නෙවෙයි. HGH ලෙස හඳුන්වන මානව වර්ධක හෝමෝනය (human growth hormone) මගින් සිරුරේ මාංශපේෂී සහ පටක පුනර්ජීවනය කරනවා. එමෙන්ම මේ හෝමෝනය හරහා තුවාල සුව වීම, සෛල යථා තත්වයට පත්වීමත් වෙනවා. මේ හෝමෝනය ක්‍රියාත්මක වන්නේ නින්දේයි. විශේෂයෙන් කුඩා දරුවන්ගේ වැඩීම සිදුවන්නේද මෙලෙස නින්දේයි.

4. උගුර පටු වෙනවා

ඔබ අවධියෙන් සිටින වේලාවට ඔබේ උගුර පුළුල් වන සේ ඇදගෙන සිටින මාංශපේශීන් නින්දේදි ලිහිල් වෙනවා. මේ මගින් ඔබේ උගුර පටු වෙනවා. නින්දේදි ගෙරවීම ඇති වෙන්න මේකත් හේතුවක්. ඒ වගේම නින්දේදි ගොඩක් අය අමුතු අමුතු සද්ද දාන්නෙත් මේ නිසයි.

5. දත් මිට කෑම

සාමාන්‍යෙන් මේක හැමෝම අතර දකින්න ලැබෙන දෙයක් නෙවෙයි,නමුත් සමහරු නින්දේදි ඉතාම දරුණු විදියට දත්විටි කනවා. විද්‍යඥයන් මේ තත්වයට පැහැදිලි හේතුවක් තවම අනාවරණය කරගෙන නැතත් ඔවුන් සිතන්නේ එක්කෝ හකු වල තිබෙන අස්ථාන ගත වීම නිසා වෙන්න පුලුවන් කියලා. ඒ වගේම දවසේ මාන්සික ආතතීන් මුද හරින ක්‍රමයක් වෙන්න පුලුවන් කියලත් සැක කරනවා. කොහොම වුනත් සමහර අයට මේක කවදාවත් වෙන්නෙ නෑ, සමහරු නම් ඇහැරින කොට හකු රිදෙනකල්ම දත් මිටි කාලයි ඇහැරින්නේ.

6. ලිංගික පිබිදීම් ඇති වෙනවා

මේ තත්වය ස්ත්‍රී සහ පුරුෂ දෙපිරිසම අතර දක්නට ලැබෙනවා. නින්දේ ගැඹුරුම අවධියේදි තමයි බොහෝ විට මෙය සිදු වන්නේ. කලිනුත් සඳහන් කළා වගේ මේ අවධියේ දී මොළය දැඩි ලෙස ක්‍රියාකාරී වන නිසා මොළයට වැඩි රුධිර සැපයුමක් අවශ්‍ය වෙනවා. ඒ නිසා රුධිර ගමනාගමන වේගය වැඩි වෙනවා. රුධිර ගමනාගමන වේගය වැඩි වීම සිරුරේ අනෙකුත් අවයව වලටත් බලපානවා. විශේෂයෙන් ලිංගික අවයව කෙරෙහි. මෙය ලිංගික හෝමෝන වැඩි ශ්‍රාවය කරවනවා.

7. පුදුමාකාර සිහින දැකීමේ ක්‍රියාවලිය

සිහින දකින්නේ කොහොමද කියන එක නූතන විද්‍යාවට පවා තවමත් රහසක්. සිහින කියන්නෙ ඒවාගෙ අන්තර්ගතය තරම්ම පුදුමාකාර ක්‍රියාවලියක්. මොළය විසින් අප එදිනෙදා අත්දකින අත්දැකීම්, ක්ෂතිමය මතකයන්, පැරණි මතකය, දැනුම ආදි සියල්ල පුදුමාකාර ක්‍රමයකට කළඹලා සිහින ඇති කරනවා. මෙයට අපේ විඥානයේ ගැඹුරුම කොටස් පවා සම්බන්ධ බව කියනවා.

නමුත් සිහින පෙනෙන විට ඒවයේ අන්තර්ගත රූප, ශබ්ධ, පුද්ගලයන්, කටහඬවල් ආදිය මොළය විසින් තෝරාගන්නේ කොහොමද කියන එකට කිසිදු පැහැදිලි කීරීමක් තවමත් නැහැ.

8. විශාල පිපිරීම් ශබ්ධ ඇහෙන්න පුලුවන්

මේක ඒ තරම් බහුල තත්වයක් නෙවෙයි. නමුත් මේක සිද්ධ වෙන දෙයක්. ඔබ එකවරම විශාල ශබ්ධයක් නිසා අවදි වුණා වගේ හැඟීමකින් අවදි වෙන්න පුලුවන්. ඔබට අවදි වූ වහාම විශාල බියක් වගේම ආතතියක් දැනෙනවා. නමුත් ඇත්ත ලෝකයේ කිසිම අමුතු දෙයක් වෙලා නැහැ. මේක හිස පිපිරුම් සින්ඩ්‍රෝමය ලෙස හඳුන්වන්නේ. මේක අත්දකින පුද්ගලයන් හිතන්නෙ ඒක්කෝ හිස් කබල පිපුරුවා නැති නම් වෙඩි වැදුණා කියලා. මෙයින් ශාරීරික හානියක් සිදුවන්නෙ නැති වුණත් මානසිකව ඉතාම තද බලපෑමක් ඇති වෙනවා.

9. ඔබේ මොළය යාවත්කාලීන වෙනවා

විද්‍යාඥයින් කියනවා ඔබේ මොළය නින්දේදී දවස පුරා එකතු කරගත් අනවශ්‍ය තොරතුරු ඉවත් කරනවා කියලා. මේ ක්‍රියාවලිය හඳුන්වන්නේ ග්ලිම්පැටික් පද්ධතිය කියලා. මේ පද්ධතිය ක්‍රියාත්මක වූ විට ඔබේ මොළය අනවශ්‍ය තොරතුරු ඉවත් කරලා අත්‍යවශ්‍ය සම්බන්ධතා නැවත ශක්තිමත් කරගන්නවා.

RELATED POSTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here