ලස්සනට තරුණ පෙනුම රැකගෙන ජීවත් වීමේ රහස අපි හැමෝම දන්නවා. සමබල ආහාර සහ නිසි ව්‍යායාම. නමුත් මේ හැර කෙනෙකුගේ ජීවිතයේ කාලයක් තිස්සේ පවතින පුරුදු එයාගෙ ශරීර සෞඛ්‍යට වගේම පෙනුමටත් ඍජුවම බලපානවා. මේවගෙන් වැඩි ප්‍රමාණයක් මොනතරම් හානිකරද කියන එක ගැන අපට දැනුමක් නැති එකයි ප්‍රශ්නෙ.

සම කියන්නෙ අපේ ශරීරයේ තියන විශාලම ඉන්ද්‍රිය, ඒ වගේම සම තමයි අපේ ශරීරයේ බාහිරට වැඩියෙන්ම විවෘත වෙලා තියන ඉන්ද්‍රිය වෙන්නෙත්. ඒ වගේම සම ඉතාම සංවේදීයි. මේ කාරණා එක්ක බැලුවාම ඔබ වැඩිදුර නොහිතා ඇති කරගෙන තියන අහිංසක පුරුදු ගොඩක් ඔබේ සමට හානිකර වෙන එක අහන්න දෙයක් නෑ.

රැජිණිය අපි එවැනි නරක පුරුදු කිහිපයක් ගැන ඔබව දැනුවත් කරන්න විස්තර හොයාගෙන ආවා.

01. නිදියන ඉරියව්ව

විශේෂයෙන්ම ඔබ නිදාගන්නෙ ඔබේ මුහුණ කොට්ටය මත තිබෙන ලෙස ශරීරයේ ඉදිරිපස ඇඳට තදවෙන විදියට නම් මෙයින් ඔබේ බෙල්ලේ සහ උරහිසෙ මාංශපේශි තදබල ලෙස පීඩනයකට ලක් වෙනවා. මෙයින් මොළයට රුධිරය සැපයීමත් අඩාල වෙන්න පුලුවන්. මේ ඉරියව්වෙන් ඇස් වටා අඳුරු පැල්ලම් සේම මුහුණ ඉදිමීමත් ඇති වෙනවා. උඩුබැලි අතට නිදාගන්න හුරු වෙන්න. නමුත් එකම ඉරියව්වෙන් සිටීමත් සුදුසු නැහැ. එයින් මුහුණේ හැඩය වෙනස් වෙනවා.

ඒ වගේම ඔබ නිදා ගන්න කොට්ටය නිසි උස එකක් වෙන්න ඕන. ඔබේ කොට්ටය ඉතාම උස එකක් නම් එයින් රුධිර ගමනාගමනයට බාධා වෙනවා වගේම බෙල්ලෙ රැලි ඇති වෙන්නත් ඉඩ තියනවා. ඔබේ නිකට ඔබේ පපුව මත තියවෙන්නෙ නැතිව නිදාගන්න පුලුවන් උසක කොට්ටයක් තෝරා ගන්න.

02. සන්ග්ලාස් භාවිතා නොකිරීම

ඔබේ සම හිරු එලියෙන් ආරක්ෂා කරගන්න එක ඉතාම වැදගත්. විශේෂයෙන් ඔබේ ඇස් වටා සම ඉතාම තුනීයි, ඒ නිසයි මේ ප්‍රදේශයේ ඉතාම ඉක්මනට රැලි ඇති වෙන්නෙ. අවුව සහිත වෙලාවලට අව් කණ්ණාඩි පැළදීම ඉතාම වැදගත්.

03. ආහාර

ඔබ කෑම ගනිද්දි කටේ එක පැත්තකින් විතරක් නම් හපන්න පුරුදුවෙලා ඉන්නෙ, මේකෙන් ඔබේ මුහුණේ සමමිතිකබාවය නැති කරනවා.

04. ෆෝන් ඒකෙන් කතා කරන විදිය

ඔයා නිතරම ෆෝන් එකෙන් කතා කරන කෙනෙක් නම්, ෆෝන් එක කනයි උරහිසයි අතර හිරකරගෙන කතා කරන්න පුරුදු වෙන්න එපා. හෙඩ්සෙට් එකක් හෝ ස්පීකර් ෆෝන් භාවිතා කරන්න. මේ පුරුද්ද මගින් කම්මුලේ සම ගිලී යාම මෙන්ම බෙල්ලෙ රැළි ඇති වෙන්න ඉඩ තියෙනවා.

05. ස්මාර්ට් ෆෝන් එක හෝ ටැබ්ලට් භාවිතා කරන විදිය

සාමාන්‍යෙන් ස්මාර්ට් ෆෝන් හෝ ටැබ් එකක් භාවිතා කරන විට බොහෝ දෙනා ෆෝන් එක පහලට කර අල්ලාගෙන ඇස් හා මුහුණ පහත් හරවාගෙන ඒ දෙස බලා සිටින අතර මෙයින් ඇස් ඉදිමීම, බෙල්ල ඉදිමීම, සමේ රැළි ඇති වීම ඇති විය හැකිය. ඔබ දීර්ඝ වේලාවක් ෆෝන් එක භාවිතා කරනවා නම් එය අතින් ඇස් මටටමට ඉහලට කර අල්ලාගෙන ඇස් හා බෙල්ල ඔසවා ඒ දෙස බලා සිටින්න.

06. කම්මුල සහ නිකට අතර බර කරගෙන සිටීම

ඔබ පරිඝනකයේ වැඩ කරන විට හෝ පොතක් කියවන විට මේ ක්‍රමයට ඉන්න එක පුරුදු වෙලා තියෙනවා නම් නම් මේ පුරුද්ද අඩු කරගන්න. මෙ මගින් මුහුණේ සමේ ප්‍රත්‍යස්තතාවය අඩු වෙනවා. ඒ වගේම අකලට රැලි ඇති වෙනවා.

07. මුහුණ එල්ලගෙන හෝ රවාගෙන සිටීම

මුහුණ එල්ලාගෙන සිටීම හෝ රවාගෙන සිටීමෙන් ඔබේ මුහුණේ මාංශපේශි බොහොමයක් ආතතියට ලක් වෙනවා. තොල් පෙරලාගෙන, ඇහි බැමි හකුලුවාගෙන ඉන්න එපා. ඔබට තෙරේන කොට ඔබ ඉන්නෙ රවාගෙන කියලා අතින් නොඅල්ලා කන් දෙක හොලවන්න උත්සහ කරන්න. මෙයින් ඉකමනින් ඔබේ රවාගෙන ඉන්න මුහුණ අතුරුදහන් වෙනවා. (ගොඩක් දෙනෙක්ට අතින් නොඅල්ලා කන් හොලවන්න බෑ, උත්සහ දැරීම පමණක් ප්‍රමානවත්)

08. උණු වතුරෙන් දිගු වෙලාවක් නෑම

සාමාන්‍යෙන් උණු වතුරෙන් නාන එක ලෝකෙ හොඳම සහනයන්ගෙන් එකක්. නමුත් ඔබ නිතරම උණු වතුරේ වැඩි වෙලාවක් නාන්න පුරුදු වීම හොඳ නැහැ. උණු වතුරෙන් ඔබේ සමේ මතුපිට ස්තරය විනාශ වෙනවා. මෙයින් සම වියළීමට ලක් වෙනවා.

09. A C භාවිතා කිරීම

වායු සමීකරණයෙන් වාතයේ ඇති ජල වාෂ්ප ඉවත් කරලා වාතාශ්‍රය වියළි කරනවා. මෙයින් සම වියළෙනවා වගේම වියළි සම ඉක්මනින් හානි වෙනවා. ඔබට A C එක ඕෆ් කරන්න බැරි තැනක් නම් නිතර සම තෙත් කරන්න. අනෙක් අවස්ථා වල නම් A C නැතුව ඉන්න පුරුදු වෙන එක තමයි වටින්නෙ.

10. කොට්ට උර

සාමාන්‍යෙන් කපු කොට්ට උර භාවිතා කරන එක තමයි කාටත් පුරුදු. නමුත් කපු කොට්ට උර රළුයි, මේ මත ඔබේ සම ඇතිල්ලෙන විට සම රැලි වැටීමටත් හානි වීමටත් ඇති ඉඩ වැඩියි. සිල්ක් හෝ සැටින් කොට්ට උර භාවිතා කළොත් මේ ඝර්ෂණය අඩු කර ගන්න පුලුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here